සැබෑ විනිශ්චයකරුවා පාඨකයාය

අක්ෂයේ තිබූ කැත්ලින් ජයවර්ධනගේ සත්‍යකාම පොත පිලිබද කතා බහේ අවසාන අවස්ථාවේදී ලංකාවේ සාමාන්‍ය සම්මාන ප්‍රදානයන් පිලිබදව සාකච්ඡාවක් ඇදුනි.
         එහි සිටි බහුතර මතය වුයේ සම්මාන ලබාදීම් සියල්ල දැන හැදුනුම්කම් වලට ලබා දෙන බව සහ ඒ වෙනුවෙන් වූ මාෆියාවක් ඇති බවයි. එය පාඨක ප්‍රජාවට හා විශේෂයෙන්ම නවක කියවන්නන් සදහා බලපාන අන්දම ගැනත් සාකච්ඡා වන ලදී.
        "සැබෑ විනිශ්චයකරුවා පාඨකයාය" යන තේමාව ඉන්පසු සාක්‍ච්ඡාවට බදුන් විය. එම  සාකච්ඡාව අවසානයේදී යම් කිසි "පාඨක සම්මානයක්" ලබා දිය යුතු යැයි කියන දෙය වටා කරකැවෙන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොත් කියවන්නන්ගේ කමෙන්ට්ස් හා තෝරාගත් පාඨකයින්ගෙන් (බහුතර පාඨක හරස්කඩක් ආවරනය වන ලෙස) සමන්විත විහාල කන්ඩායමකින් තෝරාගත් පොත් සදහා සුලුවෙන් හෝ සම්මානයක් දිය යුතු බවට යෝජනා විය. ඒ සදහා දැනට අන්තර්ජාලය සහ පවත්නා අනෙක් සන්නිවේදන තාක්ෂණික කටයුතු භායවිතා කරන්නට ද යෝජනා විය. මේ සදහා "කසෙන්ට් සෙන්ටර් එකක්" සකස් කල යුතු යැයි යෝජනා විය.
       මේ ආකාරයට 2009 වසරේ පළවු පොත් අතරින් මෙම ක්‍රමය යටතේ තේරෙන පොත් (නවකතා, කෙටිකතා, කවි. පරිවර්තන ) සදහා සම්මාන දීමට යෝජනා විය.
       මෙම යෝජනාව යම් ආකාර‍යකින් ස්ථිර විය.

  • මේ වන විට අප විසින් 2009 පලවු පොත් ඇතුලත් පුස්තකාල සේවා මණ්ඩලයේ මුද්‍රිත ලේඛණයක් ලබාගෙන ඇත.
  • කමෙන්ට්ස් සදහා ඊමේලයක් සකස් කර ඇත.
  • අක්ෂය මෙහි කැදවුම්කාර කාර්යභාරය සිදු කරයි.
  • මෙය සංවිධානය කිරීම සදහා සෑම දෙනාටම ආරාධනා කරනු ලැබේ. පලමුව යෝජනා එවන මෙන් ඉල්ලා සිටිමු.
  • දැනටමත් යම් පොත් සම්බ්න්ධයෙන් කමෙන්ට්ස් ඇත්නම් ඒවා ඊ මේලයට එවන මෙන්න ඉල්ලා සිටිමු. 
  • අපේ ඊ මේලය readers@ceylonaxis.org

You can leave a response, or trackback from your own site.

3 Response to "සැබෑ විනිශ්චයකරුවා පාඨකයාය"

  1. kumaraya says:

    ඒක නම් ඇත්ත... සැබෑ විනිසුරු අපි වම්හ......

    මම ලංකා අක්ශයේ කටයුතු දිහා බොහොම ප්‍රසාදජනක හැඟීමකින් බලන කෙනෙක්. පහත දැක්වෙන්නේ මගේ පුද්ගලික හැඟීම. ඒවා පුද්ගලික නිසා අනිත් අය එකඟ වෙන්න ම අවශ්‍ය නැහැ. නමුත් මේක මේ කතාබහ මැද්දට දැමීම අවශ්‍යයි කියලා හිතුන නිසා පල කරනවා.

    සාහිත්‍ය සම්මාන දීම මේ තරම් ම වැදගත් ද? දැන් ඔබ සිදු කරමින් සිටින පතපොත සාමූහික ව කියවීම, සාකච්ඡා කිරීම හා හැදෑරීම ඊට වඩා අදාල, වැදගත් කටයුත්තක් බව යි මට හිතෙන්නේ. ඒවා පාඨකයින් මත ගුනාත්මක බලපෑමක් ඇති කිරීමෙහි සමත් වැඩ.

    රාජ්‍යය විසින් සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් මත සිය ආන්ඩුමට්ටුකිරීම පවත්වාගෙන යන්න පාවිච්චි කරන උපායක් තමයි මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන කියන්නේ. තරමක් සමකාලීන කලිකලහවලින් ඉහලට එසවිලා දශක කීපයක අතීතය දිහා බැලුවොත් අපට පෙනෙන්නේ ඒ ඒ අවධිවල බලය දැරූ පක්ශ හා කන්ඩායම්වලට පක්ශපාත උදවියට මේ සාහිත්‍ය අනුමන්ඩලයත් විනිශ්චය මන්ඩලත් හොබවන්න අවස්ථාව ලැබුනු බව යි. අවශේශ සාහිත්‍ය උලෙලවලුත් මේ තත්වයට දක්වන ප්‍රතික්‍රියාවක් හැටියට බොහෝ විට ක්‍රියාත්මක වෙනවා නිරීක්ශනය කරන්න පුලුවන්. (ස්වාධීන සාහිත්‍ය උලෙල වැනි) ඒ වගේ ම වෙලඳ යාන්ත්‍රනත් වෙනත් ගනුදෙනුත් වෙනත් සාහිත්‍ය සම්මානවල තීරනාත්මක විය හැකි යි.

    මේ සම්මාන උලෙලවල ස්වභාවය ගැන මේ කතාබහේ දී ඔබ පිරිස කර තිබෙන නිරීක්ශන බෙහෙවින් ම ඒකමානීය (one dimensional) බව මට හැඟෙනවා. මේකෙන් හුදෙක් සම්මාන උලෙලවල තිබෙන ප්‍රශ්නය කිසියම් කල්ලිවාදී ලේඛක ලේඛිකා පිරිසකගේ අයථා ක්‍රියාකාරීත්වයකට ලඝු කරනවා නේද? එහෙම නම් දැනහැඳුනුම්වලට සංග්‍රහ කිරීමේ ප්‍රශ්නය විසඳුවොත් හරි! (මම මේ ප්‍රශ්නය අහන්නෙ ඔබ පල කොට තිබෙන සටහන පදනම් කරගෙන යි) සම්මාන උලෙලක් රාජ්‍ය ආයතන තුල සංස්ථාපිත වූ විට සිද්ද වෙන ආන්ඩුමට්ටුකිරීම එකක්. ඒ ගැක කතා කරද්දී වාරනයට ලක් වුන පතපොත සිනමාපට හා වෙනත් කලා කටයුතු සම්බන්ධ දේශපාලන සාකච්ඡාවකට යන්න වෙනවා. අනිත් අතට වෙනත් "විකල්ප" සම්මාන උලෙලකදීත් එවැනි කන්ඩායමික හෝ දෘශ්ටිවාදාත්මක පක්ශපාතකම් හා එදිරිවාදිකම් මත සම්මාන ප්‍රදානය සිද්ද වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබ දැන් යෝජනා කරන පාඨක ප්‍රසාදය නමැති "ප්‍රජාතාන්ත්‍රික" විධික්‍රමය සාහිත්‍ය කෘතියක් ගුනාත්මක ව අගයන්න හැකි ක්‍රමයක් ද? අන්තර්ජාලයේ සැරිසරන ස්වල්ප පිරිසගේ ඡන්දයෙන් කෘති තේරීමේ ක්‍රමයකට යාම ඊටත් වඩා අමනෝඥ බව මට පේනවා.

    ලංකා අක්ශය එවැනි "විකල්පයක්" සංවිධානය කරන්න පටන්ගත්තත් සිද්ද වෙන්නේ අර ටික ම යි. ඔබට තරගයක් අවශ්‍ය ම ද? "හොඳ ම" නවකතාව අවශ්‍ය ම ද? සම්මානයක් ම දෙන්න ඕන ද? ලංකා අක්ශයට කරන්න වෙන වැඩ ඇත්තේ ම නැද්ද? "පාඨක සම්මානය" වගේ නමක් යෙදීම මත් පාඨකයාට කරන අසාධාරනයක් නෙමෙයි ද? මොකද මොන යම් ම හෝ තරගයක් ඇති කල වහා ම එම ක්ශේත්‍රයෙහි "නිර්ව්‍යාජත්වය" අවසන් වෙනවා. පාඨක ලේඛක දෙපාර්ශ්වය ම කඳවුරු බඳිනවා. ඔබ පටන් අරගෙන තියෙන්නෙත් එවැනි තැනකින්. ඒ දැන් තියෙන උලෙලවල සම්මාන ලැබූවන්ට එරෙහි චෝදනාවකින්. මේක හරියන සෙල්ලමක් නෙමෙයි. ශාස්ත්‍රය හා සාහිත්‍යය කෙරෙහි භක්තියෙන් කියවීම, හැදෑරීම ප්‍රචලිත කරන ඔබේ වෙනත් කටයුතු ඉතා ම වැදගත්. මේ සම්මාන දීම තුට්ටු පහක වැදගත් වැඩක් නෙමෙයි.

    sanjeewa says:

    ආනන්දවර්ධන මතාගේ අදහසට එකගයි. නමුත් ලියවෙන පොත් ගැන කියවන පොත් ගැන යම් කතාබහක් ඇති විය යුතුයි. ලියන ඕනෑම කෙනෙක් ලියන්නේම ඔහු සාමාජීය චරිතයක් නිසාමයි. සමාජ විරෝධීව ලිවුවත් ඔහු සාමාජීයයි. හේතුව පොත හෝ ලිවීම සමාජයට මුදා හරින නිසා.

    මෙසේ ලිවිීම් වෙනුවෙන් යම් ප්‍රතිචාරයන් තිබීම අත්‍යවශ්‍යයි. සම්මාන උළෙල ගැන මූලික අදහස පැමිනියේම යම් යම් දේවල් සදහා මෙසේ ඔන්ලයින් පල කරන ක‍ෙමන්ට්ස් ගැන කතා වීමෙනුයි.

    මූලික අදහස වුනේ මාසයක් හෝ දෙක් තිස්සේ කියවන්නන් විසින් අන්තර්ජාලය තුල ලියනු ලබන කමෙන්ට්ස් එකතු කර එයින් කියැවෙන පොත පිලිබදව යම් ඇගයීමක් කරමු යන්නයි.

    නමුත් අන්තර්ජාලය බාවිතා කරන්නන් සීමාසහිත නිසා ඒ සදහා අනෙක් කියවන්නන්ගේ ද සහභාගිත්වය ලබාගත යුතු නිසා "කියවන්නන්ගෙන් එන ස්වභාවික අදහසක් මතු කරගැනීම" යන්නෙන් මෙය තව දුරටත් පුළුල් වූවා.

    සම්මාන උළෙලක් කෙසේ වෙතත් පාඨක ඇගයීමක් යන්න මෙයින් එලි දකිනවා. මෙවැනි ඇගයීම් ලියන්නන් සදහා අවශ්‍ය බවයි බහුතර අදහස.

    නමුත් මෙය කිසි විටෙකත් ස්ටාර් සංකල්පයන්ට ඇතුලත් වීමට නොදෙන්නේ කෙසේද යන්න ගැනත් කතා වුනා.

    යමක් ලියන කියවන පිරිස එකතු කරන වේදිකාවක් එවුන්ටම නිර්මානය කර දීම අක්ෂයේ අදහස. අක්ෂය දේශපාලනික කල්ලියක් නොව "පහසුකම් සපයන වේදිකාවකි". අප මෙහිදී කිසි විටෙකත් යම් දෘෂ්ඨියක් ප්‍රවර්දනය කිරීම සදහා පෙනී සිටින්නේ නැත. නමුත් සමාජීය හඩනැංවීම් සදහා වන වේදිකාව සකස් කර දීම වෙනුවෙන් අප මෙය සිදු කරන්නෙමු.

    ඉතිං එක් අවස්තාවක පැමිනි මේ යෝජනාව අප මෙසේ දිග හරින ලදී. ඔබ කියන පරිදි තරගකාරිත්වය තුල වැඩසටහනව් වල ඇති නිර්ව්‍යාජත්වය නැතිවන බව මම ද පිලි ගනිමි.

    මේ අදහස ද මෙහි වෙනස්කම්, තීරණ සදහා බලපානු ඇත. ස්තුතියි.

Powered by Blogger